Friday, February 15, 2013

ඉබ්බගෙ කතා - 1















        

 ඉස්සෙල්ලාම පටන් ගත්තු බ්ලොග් අඩවියෙ ලියන්න දෙයක් කල්පනා කරකර ඉන්නකොට ජෝං බාස්ට මුලින්ම මතක් වුනේ තමන්ගෙ කිට්ටුම මිත්‍ර‍යෙක් වුනු ඉබ්බාව. මේ කාලෙ තමයි ජෝංබාස් ඉගෙනුම ලබන්න සරසවියට ඇතුලත් වුන මුල්ම අවධිය. සිය ගණනක් වුනු අලුත් මුහුණු  අතරෙ රටේ විවිධ පලාත් වලින් ආපු විවිධාකාර චරිත හිටියා. මේ අතරින් සුවිශේෂීම චරිතයක් වුනු ඉබ්බා කොයි කා අතරත් ජනප්‍රිය වෙලා හිටියෙ රස සාගරයක් හැටියට.
                                                                   සාමාන‍‍්‍යයෙන් නම් කෙනෙක් මේ හැටි ජනප්‍රිය වෙන්නෙ තමන්ගෙ නොයෙක් හැකියාවන් නිසා වුනත් ඉබ්බාගෙ ජනප්‍රියත්වයට හේතු වුනේ කොයි වැඩේ කලත් සුවිශේෂී සිද්ධි දාමයක් ඒ වටා ඇති වීම. ඇතැම් විට වේගයෙන් ඇදී යන දුම්රියකට ඇදිලා යන පරඬැලාවක් වගේ ඒ අවට සිටින අයත් ඔවුන්ට නොදැනීම ඉබ්බගෙ කතාවකට ගෑවිලා අමරනීය චරිත බවට පත්වුනා. කෑවත්, බිව්වත්, නෑවත් වෙන මොනයම්හෝ දෙයක් කලත් ඉබ්බා එතන නම් අමුතු හාස්‍යජනක යමක් එතන සිදූවීමේ ලොකු සම්‍‍භාවිතාවක් තිබනා. කොටින්ම කියනවා නම් නැගපු හැම පොල් ගහේම ඒකට දෙබලක් නම් වැරදුනේ නැහැ.
                                                                                                                                                                     හොඳයි එහෙනම් මේසා අද්‍භූතවුත්, කුජීතවූත් රස සාගරයක් බඳුවූත් ඉබ්බා වටේ ගෙතුනු කතා වලින් මම මුලින්ම ලියන්න යන්නෙ ඉබ්බට නම වැටනු හැටි ගැන කතාව.
                                            මේ කියන කාලේ හැමදාම වගේ අවසාන කාල පරිච්චේදය වෙන් වෙලා තිබුනෙ ආරාධිත දේශන වලට. උදේ ඉඳන් පුටු රත් කරමින් නීරස දේශන අහං ඉඳලා එපා වුනු බොහොම දෙනෙක් මේ අන්තිම දේශනය කට් කරලා පනින්න පුරුදුවෙලා හිටියා.පැනගන්න බැරිවුන අනිත් එවුන් මේ දේශනයට අකමැත්තෙන් සහභාගිවුනත් යමක් ඉගැනීම කෙසේ වෙතත් උන් උත්සාහ කලේ තමන්ගෙ දවසේ  වෙහෙස,මහන්සිය, මානසික ආතතිය පිටකරගන්න. 
                                                                                                                            මෙන්න මේ කියන දවසෙත් ඔය වගේම ආරාධිත දේශනයක් දෙන්න කෙනෙක් ඇවිත් හිටියා.  එදා මාතෘකාව වුනේ ‘‘ධනාත්මක චින්තනය‘‘.

                                      තමන්ගෙ දේශනය අහන්න ආපු මේ දඩබ්බර සිසු පිරිසට කෙසේ හෝ ධනාත්මක චින්තනය ගැන කියලා දෙන්න දේශකතුමාට පුදුමාකාර අවශ්‍යතාවයක් තිබුනා. මේ සඳහා ක්‍රියාකාරකම් ගොඩකුත් සිසුන් ලවා කෙරවුනා. මේ කියන චින්තනය එක් එක් පුද්ගලයා තුලින්ම එන මට්ටමට ගන්න තමයි එතුමා කියපු හැටියට මේකෙ අන්තිම ඉලක්කය වෙලා තිබුනෙ.
                                                                                                                                                  මේ විදිහට ගලාගෙන ගිය දේශනය බාධා වලින් තොරවම අවසාන භාගයට එලඹුනා. පැයක් පුරාවට තමන් උගන්වපු දේවල් මේ සිසුන්ට තේරැම් ගිහින් තියෙන්නෙ කොයි විදිහටද කියලා බලන්න  අවසාන වශයෙන් කරන්න තිබුනෙ ක්‍රියාකාරකමක්. ඒ සඳහා දේශකතුමා කියන දේවල් යුගලයෙන් තමන් වඩාත් කැමති දෙය අ‍ඳින්න තමයි තිබුනෙ.
                     මුලින්ම ලැබුනෙ විනාඩියක් ඇතුලත තනි තට්ටුවේ හරි තට්ටු දෙකේ හරි ගෙයක් අ‍ඳින්න. ඔන්න ඉතිං කට්ටිය දිවවල්  රෝල් කරකර ගෙවල් අඳිනවා. තට්ටු දෙකේ මාළිගාවේ ඉඳන් තනි තට්ටුවෙ වැසිකිළිය දක්වා විවිධාකාර චිත්‍ර ඒ විනාඩියක කාලය තුල ඇඳුනා. සිසුන් අතරට ගිය දේශකතුමා එක් චිත්‍රයක් ඉල්ලා ගත්තා.

“තට්ටු දෙකේ ගෙයක් තමයි මේකෙ ඇඳල තියෙන්නෙ............වැඩක් කරද්දි මෙන්න මේ වගේ තමයි හිතන්න ඕන. තමන්ට යන්න පුලුවන් උපරිමය ගැන හිතලා පටන් ගන්න....බොහොම හොඳයි. “

“හරි.... ඊලඟට අඳින්න ඉබ්බෙක් හරි හාවෙක් හරි......................“

ඔන්න ඉතින් ආයෙත් කට්ටිය ගජරාමෙට චිත්‍ර අඳිනවා. වැඩි දෙනෙක් හාවොත් ටිකදෙනෙක් ඉබ්බොත් අඳින්න ගත්තා. මමත් ඉතින් පොඩිකාලෙ ඉඳන් අඳින්න දන්න ලේසිම සතා, රට  හාවා ඇඳ ඇඳ හිටියා. ඕන්න........ එතකොට තමයි කතාවෙ වීරයා වන අපේ ඉබ්බා වැඩ පටන් ගත්තෙ, සද්දෙ ආවෙ පිටිපස්සෙ පෝලිමෙන්. කීපදෙනෙක් හිනා වෙන හඬ එක්ක තවත් කෙනෙක් යමකට විරෝධය පලකරන හඬක් ඇහිලා මම පිටිපස්ස හැරිලා බලුවා. 
                                                    මට පෙනුනෙ යම් කලබලයක්. චිත්‍රයක් ඇතුලත් කොලයක් වේගයෙන් අතින් අතට යමින් තිබුන අතර කලබලයට පත් තරමක් උස, පොකුටු කොන්ඩයක් සහිත සිසුවෙක් තමන්ගෙන් ඈතට ඇදී යන කොලය නැවත ඉල්ලා ගන්න අසාර්ථක උත්සාහයක් දැරැවා.

“ ඒ ..ඕක  එවපංකො බං කැතවැඩ කරන්නැතුව....අඩෝව්.........!!!!   “

චිත්‍රය බලන බලන එකාගෙ මුනෙ ඇඳුනෙ හිනාවල්

 “ මොකෙක් ද බං මේ ඇඳලා තියෙන්නෙ........අම්මට සිරි ....හිඃ හිඃ..... “

“ අඩේ..... ලෝක ගෝලෙකුත් ඇඳලා...... “


මොනවා.....ඉබ්බෙක් ලෝක ගෝලයක් එක්ක......ජෝන් බාස්ට මතක් වුනේ තමන් හතේ  පන්තියෙදි ඉගෙන ගනිපූ අතීත චීනයේ විස්වාස කෙරැවයි කියන ලෝකය විශාල ඉබ්බෙකුගේ පිට නැගුනු අලින් හතර දෙනෙක් උස්සන් හිටපු කතාව....ඒකවත් ඇඳලද දන්නෑ .........

අතින් අත පාස් වෙමින්  ආපු අරැම පුදුම ආපු චිත්‍රය බලන්න මමත් එබුනා.


                                          














ඇඳලා තිබ්බෙ නම් ඉතින් ඉබ්බෙක් තමයි, හැබැයි කොන්ඩි පට්ටං වලට දාන ජාතියෙ එකෙක්. කව්දෝ කිව්වා වගේම ලස්සන ලෝක ගෝලෙකුත් ලාංචනයක් හැටියට ඉබ්බගෙ මුහුණතේ සටහන් වෙලා තිබ්බා. ජෝං බාස්ට පස්සෙ දැනගන්න ලැබුනු හැටියට එදා මේ ඇඳලා තිබිලා තියෙන්නෙ ඉබ්බගෙ බෝඩිං කාමරේ දොරට දාලා තිබිච්ච ඉබ්බා.


අතින් අතට ගිය කොලේ දේශකතුමාගෙ අතටත් ගියා. කොලේ අතට ගත්ත ගමන් එතුමාගෙ හිත ෆුල් අවුල් වුන බව මුනෙන්ම පෙනුනා. මේ දඩබ්බර කොල්ලන් පිරිස තමන්ව විහිලුවකට ගන්න ඇති කියලා සමහර විට හිතන්න ඇති.

“ ම්ම්ම්....මෙහෙම ඉබ්බොත් ඉන්න පුලුවන් තමයි.......“

සර්ට එතනින් එහාට යමක් කියන්න හිත හදාගන්න බැරි වුනා. 

එතකොට අරක ඇඳපු එකා...........????

ආ.... ඇඳපු එකාට එදයින් පස්සෙ “ ඉබ්බා‘‘ කියන කාඩ් එක රෙජිස්ටර් වුනා.

          ජෝං බාස්ට පසුව දැනගන්න ලැබුනු හැටියට එදා මේ ඇඳලා තිබිලා තියෙන්නෙ ඉබ්බගෙ බෝඩිං කාමරේ දොරට දාලා තිබිච්ච ඉබ්බා. ඒකා එහෙම කරන්න ඇත්තෙ තුන්හිතකින්වත් විහිලුවක් කිරීමේ අදහසකින් නොවන බවත් එවෙලෙ අඳින්න ඇත්තෙ ඇත්තටම තමන්ට හිතුනදේ බවත් ඉබ්බව පසුකාලීනව ආශ්‍රය කිරීමෙදි ජෝන් බාස්ට වැටහුනා. 


ප.ලි. - පසුකාලීනව ඉබ්බා ජෝං බාස්ගෙ  ර ෑ‍මෙක් බවටත් පත්වුන අතර එමගින් ඉබ්බා සම්බන්ධ කතා සීරීස් එකක් බලාගන්නත් ජෝංබාස්ට හැකිවුනා.

                                                                                           

                                                                                                       






No comments:

Post a Comment